Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Foreign

මරණය අතේ තියාගෙන අඟහරුට යන ඇගේ අවසන් ගමන

ඇලීසා කාර්සන්ගේ අභ්‍යවකාශ සිහිනය ආරම්භ වන්නේ ඇයට වයස අවුරුදු තුනේදී “The Backyardigans” කාටූනය නැරඹීමත් සමඟය. කුඩා අවධියේදීම “මට අඟහරු වෙත යා හැකිද?” යැයි ඇය තම පියාගෙන් විමසූ පැනය, හුදෙක් ළමා සිතුවිල්ලක් ලෙස බැහැර නොකළ ඇගේ පියා, එය යථාර්ථයක් කරගැනීම සඳහා ඇයට නිසි මගපෙන්වීම ලබා දී ඇත. ඇලීසාගේ මෙම දැඩි අධිෂ්ඨානය සහ පවුලේ කැපවීම, අද වන…

Published 15-01-2026 2 min read

ඇලීසා කාර්සන්ගේ අභ්‍යවකාශ සිහිනය ආරම්භ වන්නේ ඇයට වයස අවුරුදු තුනේදී “The Backyardigans” කාටූනය නැරඹීමත් සමඟය. කුඩා අවධියේදීම “මට අඟහරු වෙත යා හැකිද?” යැයි ඇය තම පියාගෙන් විමසූ පැනය, හුදෙක් ළමා සිතුවිල්ලක් ලෙස බැහැර නොකළ ඇගේ පියා, එය යථාර්ථයක් කරගැනීම සඳහා ඇයට නිසි මගපෙන්වීම ලබා දී ඇත. ඇලීසාගේ මෙම දැඩි අධිෂ්ඨානය සහ පවුලේ කැපවීම, අද වන විට මුළු ලෝකයේම අවධානය දිනාගත් සුවිශේෂී අභ්‍යවකාශ ක්‍රියාකාරිනියක් බවට පත්වීමට ඇයට මූලික අඩිතාලම දමා ඇත.

“Blueberry” යන අන්වර්ථ නාමයෙන් ක්ෂේත්‍රය තුළ ප්‍රචලිත ඇලීසා, නාසා (NASA) ආයතනය විසින් අනාගත අභ්‍යවකාශගාමිනියක ලෙස ඉහළ ඇගයීමකට ලක් කර තිබේ. ඇය නාසා ආයතනය සතු අභ්‍යවකාශ කඳවුරු (Space Camps) තුනම සාර්ථකව නිම කළ ලොව පළමු තැනැත්තිය ලෙස වාර්තා අතරට එක් වේ. එමෙන්ම නාසා හි “Passport Program” වැඩසටහන යටතේ පවතින මධ්‍යස්ථාන 14ම නැරඹීමට ගිය ලොව එකම පුද්ගලයා වන්නේද ඇයයි. මෙම සුවිශේෂී ළැදියාව සහ කැපවීම හේතුවෙන් ඇය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ අනාගත බලාපොරොත්තුවක් ලෙස සැලකේ.

2030 දශකයේ මැද භාගයේදී ක්‍රියාත්මක වීමට නියමිත මිනිසුන් සහිත පළමු අඟහරු මෙහෙයුමට එක්වීම ඇලීසාගේ ප්‍රධාන ඉලක්කයයි. පෘථිවියේ සිට මාස 7ක පමණ කාලයක් ගතවන මෙම දුෂ්කර ගමන, නැවත පෘථිවියට පැමිණීම අවිනිශ්චිත “නැවත නොඑන ගමනක්” වීමට වැඩි ඉඩකඩක් පවතින බව විද්‍යාඥයෝ පවසති. එසේ වුවද, තම තාරුණ්‍යය, පෞද්ගලික ජීවිතය සහ විවාහය වැනි සාම්ප්‍රදායික බැඳීම් පසෙකලා, පෞද්ගලික ජීවිතයට වඩා ලෝකය වෙනුවෙන් නව සොයාගැනීමක් කිරීමේ උදාර අරමුණින් ඇය මෙම අභියෝගය භාරගෙන ඇත.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම්වලදී විවිධ රටවල කණ්ඩායම් සමඟ කටයුතු කිරීමේ පහසුව උදෙසා ඇය මේ වන විට ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ සහ චීන යන භාෂා හතරම ප්‍රගුණ කර ඇති අතර, ගුවන් නියමු බලපත්‍රයක්ද හිමිකරගෙන සිටී. ස්ත්‍රී පුරුෂ භාවය අභිබවා යමින්, දැඩි ආත්ම ශක්තියකින් යුතුව ඇය තබන මෙම පියවර මානව ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු නොඅනුමානය. අඟහරු මතුපිට පා තබන පළමු මිනිසා ඇය වුවහොත්, එය මිනිස් ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් ලෙස සටහන් වනු ඇත.

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.