Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Featured Stories

JVP 3% සිට ජයග්‍රහණය දක්වා : ශ්‍රී ලංකා දේශපාලනයේ විශාලතම පෙරළිය

  “අවුරුදු දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා දේශපාලනය, පාලනය කළ සම්ප්‍රදායික පක්ෂවල බලය අඛණ්ඩව පවත්වා ගෙන ආ විට, ජනතාවගේ මනස තුළ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැඟූ නො සතුට 2019–2024 කාලය තුළ විශාල දේශපාලන හැරවීමකට මඟ පෙන්වීය. 2019 ජනාධිපතිවරණයේ දී 3% පමණ වූ ඡන්ද පදනමකින් ක්‍රියා කළ JVP නායකත්වය දරන මාලිමා සන්ධානය, කෙටි කාලයක දී රටේ දේශපාලන සිතියම…

Published 09-02-2026 4 min read

 

අවුරුදු දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා දේශපාලනය, පාලනය කළ සම්ප්‍රදායික පක්ෂවල බලය අඛණ්ඩව පවත්වා ගෙන ආ විට, ජනතාවගේ මනස තුළ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැඟූ  නො සතුට 2019–2024 කාලය තුළ විශාල දේශපාලන හැරවීමකට මඟ පෙන්වීය. 2019 ජනාධිපතිවරණයේ දී 3% පමණ වූ ඡන්ද පදනමකින් ක්‍රියා කළ JVP නායකත්වය දරන මාලිමා සන්ධානය, කෙටි කාලයක දී රටේ දේශපාලන සිතියම මුළුමනින් ම වෙනස් කළ ආකාරය මෙහි විග්‍රහ කෙරේ.”

පසුගිය වසරවල දී සම්ප්‍රදායික පක්ෂවල දිගු කාලීන සාමාජිකයින් අතර දැඩි අසතුටක් මතු වී තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ දිගු කාලීන සාමාජිකයෙකු මට පැවසූ වචන මේ වෙනසට හොඳ උදාහරණයකි: “UNP කියන්නේ අපේ ජීවිතවල කොටසක්. ‘සිරිකොතඅපේ මහගෙදර. ඒත් අද අපි ම අපෙන් අහනවා, අපේ පක්ෂයට මොකක්ද සිදුවුණේ? කියලාමේ ප්‍රශ්නය UNP පමණක් නොව, පසුගිය මැතිවරණවල පරාජය අත්විඳින සියලු ම සම්ප්‍රදායික පක්ෂවල සාමාජිකයින්ගේ හදවතේ පවතින ගැටලුවකි. සරල පිළිතුරක් නොමැති නමුත්, මෙය සමාජදේශපාලන හැරවීමක් බව පැහැදිලිව පෙනේ.

ශ්‍රී ලාංකික ඡන්දදායකයා බොහෝ විට ප්‍රතිපත්තිමූලික දේශපාලනයට වඩා පොරොන්දුමූලික දේශපාලනය විශ්වාස කරයි. දියුණු රටවල පක්ෂ මැතිවරණ ප්‍රකාශ ජාතික ප්‍රතිපත්ති මත ගොඩනැගී ඇති අතර, ශ්‍රී ලංකාවේ බොහෝ පක්ෂවල මැතිවරණ ප්‍රකාශ බොරු පොරොන්දු වලින් පිරී ඇත. එහෙත්  එය ලංකාවේ දේශපාලන සම්ප්‍රදායක් වී ඇත්තේ බොරුවෙන් හෝ බලය ලබා ගැනීමට තිබූ හැකියාව නිසායි.

මෙවන් පසුබිමක දී JVP, 2019 වන විට 3% පමණ වූ ඡන්ද පදනමක් ඇති කුඩා පක්ෂයක් ලෙස සැලකුණ ද,  2019–2024 අතර කෙටි කාලයක දී සිදු වූ දේශපාලන හැරවීම ඔවුන්ට අලුත් මාවතක් විවෘත කළේ ය. අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ JVP නායකත්වය දරන මාලිමා සන්ධානය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම උඩු යටිකුරු කළේ ය. මෙය හදිසි සිදුවීමක් නොව, සූක්ෂ්ම සංවිධානයක්, පැහැදිලි පණිවිඩයක්, සහ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක.

JVP පළමුවෙන්ම සම්ප්‍රදායික පක්ෂවලට තිබූ ජනතා විශ්වාසය බිඳ දැමීමට සාර්ථක විය. අසාර්ථක ආර්ථික කළමනාකරණය, දූෂණ චෝදනා, පවුල් පාලනය, සහ අස්ථාවර ප්‍රතිපත්ති වැනි කරුණු සමාජගත කිරීම මගින් ජනතාව තුළ පැරණි පක්ෂ පිළිබඳ ගැඹුරු අවිශ්වාසයක් ගොඩ නැගීය. එම අවිශ්වාසය මත JVP තමන්පිරිසිදු විකල්පයලෙස පිහිටුවා ගැනීමට සමත් විය. දූෂණ විරෝධී පාලනයක්, පැහැදිලි ආර්ථික පණිවිඩයක්, සහ විනිවිද පාලන ආකෘතියක් යටතේ යහපත් රටක් ගොඩනැගිය හැකි බව ඔවුන් සාර්ථකව ජන ගත කළහ.

JVP ප්‍රචාරණය නවීකරණය කළ ආකාරය මෙම ජයග්‍රහණයේ වැදගත් කොටසකි. ග්‍රාමීය මට්ටමේ ශක්තිමත් සංවිධාන ජාලයක්, digital ප්‍රචාරණයේ නවීන ක්‍රම, තරුණයන්ට සහ කාන්තාවන්ට සෘජු පණිවිඩ, සහ සරල, පැහැදිලි සන්නිවේදනය ඔවුන්ගේ පණිවිඩය සමාජයේ සියලු ජන කොටස් වෙත ගෙන යාමට ඉතා ප්‍රබලව උපකාරී විය. ඔවුන්ගේ සන්නිවේදන දක්ෂතාව ජනතාවගේ සිත්වල ඉතා තදින් මුල් බැස තිබුණ ජනතා විමුක්ති පෙරමුණේ කඵ පැල්ලම් සහිත අදුරු අතීතයපවා අමතක කරන්නට ජනතාවට සිදු විය.

අනුර කුමාර දිසානායකගේ නායකත්වය JVP උඩුගත වීමේ ප්‍රධාන සාධකයකි. ඔහු පළමු වරට ඡන්දය දෙන තරුණ පරපුර, පරණ පාලකයින්ගෙන් කලකිරී සිටි ජනතාව, පෙර JVP ඡන්දය නො දුන් පිරිස, සහ සම්ප්‍රදායික පක්ෂවල කලකිරී සිටි සාමාජිකයින් එක මැදහත් පදනමකට එකතු කිරීමට සමත් විය. JVP විසින් තම පක්ෂය තුල ගොඩ නැගු විනය, ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු පක්ෂයක නො පෙනෙන ලක්ෂණයකි. අති මහත් බලයක් තිබූ දැඩි නායකයකු වූ ජේ.ආර්. ජයවර්ධන පවා පක්ෂ විනය පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දුන් බව සැලකූ විට, JVP  විනය මෙම ජයග්‍රහණයේ වැදගත් සාධකයක් බව පැහැදිලි වේ.

මෙය සම්ප්‍රදායික පක්ෂවලින් JVP වෙත සිදු වූ සරල පක්ෂ මාරුවක් නොවේ. ජනතාවට අවශ්‍ය වූයේ මාලිමාව දිනවීමට නොව, පැරණි සම්ප්‍රදායක පක්ෂ වල වැරදි වලට එරෙහිව නැගී සිටීමටයි. මෙය ජනතාවගේ මනස, විශ්වාසය, සහ දේශපාලන සංවේදනයේ ගැඹුරු වෙනසකි. ජනතාවට අවශ්‍ය වූයේ නව නායකත්වයක්, දූෂණ රහිත පාලනයක්, පවුල් දේශපාලනයෙන් මිදීමක්, සහ අනාගතයක් ගැන විශ්වාසයක්. JVP එම අශ්‍යතාවයට සෘජු පිළිතුරක් දුන්නා.

එයට ප්‍රතිවිරුද්ධ ලෙස, සම්ප්‍රදායික පක්ෂ ජනතාවගේ කෝපය, පවුල් දේශපාලනයට ඇති විරුද්ධත්වය, සහ නව නායකත්ව අවශ්‍යතාව නො සලකා, අතීත ජයග්‍රහණ වල ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් එහි ඇලී සිටියෝ ය. ඔවුන් කතා කළේ පක්ෂ ඉතිහාසය, පරණ නායකයන්, සහ අතීත ජයග්‍රහණ සහ අතීත ක්‍රියාකාරකම් ගැනයි. නමුත් ජනතාවට අවශ්‍ය වූයේ අතීත කතා නොව, තම ගැට‍ළු වලට විසඳුමයි.

2019–2024 දේශපාලන හැරවීම මාලිමා වැනි අවම ඡන්ද පදනමක් තිබූ පක්ෂයක ජයග්‍රහණයක් පමණක් නොව, එය ජනතාවගේ මනස, විශ්වාසය, සහ දේශපාලන සංවේදනයේ ගැඹුරු වෙනසක් ඇති කළා.

අනාගතයේ සියලු පක්ෂ සඳහා මෙය පැහැදිලි පාඩමකි: ජනතාවගේ හදවත් කියවීමට නො හැකි, ජනතා හඬට සවන් නො දෙන පක්ෂවලට බලය ලබා ගැනීමට නො හැකි බව ජනතාව පෙන්වා දුන්නා.

රට ගැන සිතන, විනිවිද පාලනයක් ගොඩනගන, ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා පක්ෂවලට අනාගත දේශපාලන මාවත විවෘතය.

සුදත් චන්ද්‍රසේකරගේ සමාජදේශපාලන විශ්ලේෂණයක්

(සුදත් චන්ද්‍රසේකර ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ අවුරුදු 40කට වැඩි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන හා සන්නිවේදන විශේෂඥයෙකි. ඔහු කැබිනට් අමාත්‍ය, විපක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය පුද්ගලික ලේකම් සහ උපදේශක ලෙස සේවය කළ අතර, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ, සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කළා)

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.