Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සූම් (Zoom) ටෙන්ඩර් නාඩගම

වංචාව සහ දූෂණය පිටුදැකීමේ සටන් පාඨය මත බලයට පත් වර්තමාන රජයේ අමාත්‍යාංශ එකින් එක දැන් සිය නිරුවත ප්‍රදර්ශනය කරමින් සිටී. මෙවර චෝදනාව එල්ල වන්නේ අන් කිසිවකුට නොව, රජයේ තීරණ ජනතාවට නිවැරදිව සන්නිවේදනය කළ යුතු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙතය. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ සූම් (Zoom) රැස්වීම් සඳහා වන ටෙන්ඩර් පටිපාටිය තුළ සිදුව ඇති නින්දිත…

Published 21-01-2026 3 min read

වංචාව සහ දූෂණය පිටුදැකීමේ සටන් පාඨය මත බලයට පත් වර්තමාන රජයේ අමාත්‍යාංශ එකින් එක දැන් සිය නිරුවත ප්‍රදර්ශනය කරමින් සිටී. මෙවර චෝදනාව එල්ල වන්නේ අන් කිසිවකුට නොව, රජයේ තීරණ ජනතාවට නිවැරදිව සන්නිවේදනය කළ යුතු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙතය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ සූම් (Zoom) රැස්වීම් සඳහා වන ටෙන්ඩර් පටිපාටිය තුළ සිදුව ඇති නින්දිත ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු දැන් අනාවරණය වී තිබේ.

සිද්ධියේ පසුබිම: නීතියට පයින් ගැසූ ටෙන්ඩර් විවෘත කිරීම

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් 2026/2027 වර්ෂ සඳහා සූම් සේවා ලබාගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා තිබුණි. මෙහි කාලානුක්‍රමික සිදුවීම් පෙළ දෙස බැලීමේදී මෙය අහඹු සිදුවීමක් නොව, සූක්ෂම ලෙස සැලසුම් කරන ලද වංචාවක් බව මැනවින් පැහැදිලි වේ.

2025 දෙසැම්බර් 29:
නියමිත පරිදි ටෙන්ඩරය විවෘත කෙරිණි. එහිදී ආයතන දෙකක් ලංසු ඉදිරිපත් කර තිබූ අතර, මෙතෙක් එම සේවාව සපයමින් සිටින (රැස්වීම් 1000කට වඩා සිදුකළ) පළපුරුදු ආයතනය විසින් අවම ලංසුව (Lowest Bid) ඉදිරිපත් කර තිබුණි.
පොරොන්දුව:
තාක්ෂණික කමිටු නිර්දේශවලින් පසුව ජයග්‍රාහී ලංසුකරුට ටෙන්ඩරය පිරිනමන බව එහිදී නිල වශයෙන් ප්‍රකාශ විය.
2026 ජනවාරි 16:
සති දෙකක නිහඬතාවයකින් පසු, හිටිහැටියේම නැවත ටෙන්ඩර් කැඳවන බව දැනුම් දෙයි.

ටෙන්ඩර් පටිපාටිය උඩුයටිකුරු කිරීමේ ‘කුමන්ත්‍රණය’

සාමාන්‍ය ටෙන්ඩර් සම්ප්‍රදාය අනුව නැවත ටෙන්ඩර් කැඳවනු ලබන්නේ සුදුසුකම් ලත් ආයතන කිසිවක් නොමැති නම් පමණි. නමුත් මෙහිදී සිදුව ඇත්තේ අතිශය භයානක පූර්වාදර්ශයකි. පළමු ටෙන්ඩරයේ මිල ගණන් විවෘත කිරීමෙන් පසු, එම මිල ගණන් ප්‍රසිද්ධ වී තිබියදී නැවත ටෙන්ඩර් කැඳවීම යනු තමන්ට හිතවත් පාර්ශ්වයකට ‘අඩුම මිල’ දැනගෙන ඊටත් වඩා අඩු ලංසුවක් තබා ටෙන්ඩරය ලබා ගැනීමට අවස්ථාව සලසා දීමකි.

මෙම අක්‍රමිකතාව පිළිබඳව විමසීමේදී බලධාරීන් දක්වන ප්‍රතිචාර හාස්‍යජනකය:

1. ගිණුම් අංශය: නිවාඩු කාලය නිසා අනෙක් ආයතනවලට ලංසු තැබීමට නොහැකි වූ බැවින් නැවත කැඳවූ බව පවසයි.
2. අධ්‍යක්ෂ ජනරාල් (ටෙන්ඩර් කමිටු සභාපති): මුලින් තමන් මෙවැනි නැවත කැඳවීමක් ගැන නොදන්නා බව පැවසුවද, පසුව පවසා ඇත්තේ ලංසු තැබූ ආයතන ගණන මදි නිසා (දෙකක් පමණක් වූ නිසා) නැවත කැඳවූ බවයි.

ආයතන සංඛ්‍යාව ප්‍රමාණවත් නැතිනම් කළ යුතුව තිබුණේ ටෙන්ඩරය විවෘත නොකර කාලය දීර්ඝ කිරීමයි. මිල ගණන් ප්‍රසිද්ධ කිරීමෙන් පසු නැවත ටෙන්ඩර් කැඳවීම යනු අමු අමුවේ සිදුකළ දූෂණයකි.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ නිහඬ පිළිවෙත

ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අතීතයේදී අනෙකුත් අමාත්‍යාංශවල ටෙන්ඩර් වංචා ගැන හඬ තැළූ අයෙකි. වත්මන් ආණ්ඩුව යටතේද නිසි ක්‍රමවේදයට ටෙන්ඩර් ක්‍රියාවලීන් සිදුනොවීමේ අක්‍රමිකතාවන්ට මෙම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රැස්වීම්වලදීම අනන්ත පිළිතුරු ලබාදීමටත්, අපහසුතාවට පක්වීමටත් සිදුවූ බව අපි දනිමු.
නමුත් අද තමන් යටතේම පවතින ආයතනයක, රුපියල් මිලියන ගණනක වංචාවන් නොවුවද, මූලධර්මීය වශයෙන් සිදුවන මෙම මහා පරිමාණ විෂමාචාරය දෙස ඔහු ඇස් පියාගෙන සිටින්නේ මන්ද?
හෙට, එනම් 2026 ජනවාරි 22 වන දින මෙම ටෙන්ඩරය නැවත විවෘත කිරීමට නියමිතය. මෙහිදී සිදුවන්නේ කුමක්දැයි අප හොඳින්ම දනිමු. කලින් ඉදිරිපත් වූ අවම මිල ගණන් දන්නා “අලුත්” ලංසුකරුවන්, ඊට වඩා සොච්චමකින් අඩු මිලක් ඉදිරිපත් කර ටෙන්ඩරය ඩැහැගනු ඇත. මෙය වංචාවක් නොවන්නේ නම් වංචාව යනු කුමක්ද?

ජනතාව අවධානයෙන් !

ජනාධිපතිවරයාට හෝ අගමැතිනියට මේවා පෙන්වා දීමෙන් ඵලක් ඇතැයි අප නොසිතමු. මන්ද ඔවුන් මේ වන විටත් දේශපාලන බල ව්‍යාපෘතිවල අතරමං වී සිටින බැවිනි. නමුත් “හොරකම සහ දූෂණය මඩිනවා” යැයි කියමින් බලයට ආ ආණ්ඩුවක්, තමන්ගේම අතේ ඇති සූම් (Zoom) ගිණුම පවා අවංකව ටෙන්ඩර් කර ගැනීමට නොහැකි තරම් බංකොලොත් වී තිබීම ලැජ්ජා සහගතය.

ඇමතිතුමනි, ඔබට අපෙන් මෙසේ ඇසිය හැක (දැන් දැන් ආණ්ඩු පාර්ශ්වය තමන්ට විරෝධය දක්වන ජනතාවගෙන් අසමින් ඉන්නේද එයය) : “අපි ඕනෑම දෙයක් කරගන්නම්, තමුසෙලාට පාන්ද?”
අපට පාන් නැති බව ඇත්තය. නමුත් මේ රටේ බදු ගෙවන ජනතාවට තවදුරටත් ‘වඳුරු කුණුහරුප’ පෙන්වා රවටන්නට ඉඩ නොදෙන බව මතක තබා ගන්න. රටට සිදුව ඇත්තේ ඊට සුදුස්සෙකු මෙතෙක් නොපෙනීමයි. එහෙත් ගතවූ ඉතිහාසය තුළ සිදුවූවා මෙන් යළිත් අසාර්ථක උත්සාහයක් හෝ සිදුවනූ ඇත. ජනතාව නිසි වේලාවට නිසි පිළිතුර ලබා දෙනු ඇත.

 

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.